ශ්‍රී ලංකන් ගුවන් යානයක් පමාවීම හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තු වූ ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා සිහිනය බොඳ වී ඇතැයි srilankanews.lk වෙබ් අඩවියේ පළ වී තිබෙන වාර්තාව සත්‍යයෙන් තොර බව FactSeeker කළ සොයා බැලීමකදී තහවුරු විය.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් තෝරා ගනු ලැබ තිබුණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 48 දෙනෙකුගේ රැකියා අවස්ථාව ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ අකාර්යක්ෂම ක්‍රියා කලාපය හේතුවෙන් අවධානමකට ලක්ව ඇතැයි srilankanews.lk වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
මෙම ශ්‍රමිකයින් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මැයි 23 වෙනි දින රාත්‍රී 8.00 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණ. නමුත් ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ගුවන්ගත කළ නොහැකි වූ අතර, යානය මැයි 24 වෙනි දින උදෑසන 6.00 ට ගුවන් ගත කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා FactSeeker කළ විමසීමකදී සඳහන් කළේ ය.
කොරියාව බලා පිටත් වීමට සූදානමින් සිටි ශ්‍රමිකයින් පිරිසගේ කටයුතු කොරියාවේදී කළමණාකරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රමිකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එසේ වුව ද මෙම ශ්‍රමිකයින් ලබන ජුනි මස 04 වෙනි දින නැවත පිටත් කරන මෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.ජී.ජී. එස් යාපා FactSeeker කළ විසීමකදී සඳහන් කළේය.