දියවැඩියා රෝගීන් සහ ස්ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයින් බහුලව භාවිත කරන කෘතිම සීනි ආදේශක (Non-sugar sweeteners- NSS) භාවිත කිරීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පසුගිය මැයි 15 වෙනි දින නිර්දේශ කළේ, එබැවින් එවැනි සීනි ආදේශක භාවිත නොකළ යුතු බවය. එම සංවිධානය පවසන්නේ, සීනි ආදේශක භාවිත කිරීම මගින් ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කිරීමට කිසිදු සහයක් නොලැබෙන අතර, ස්ථුලභාවය හා සම්බන්ධ රෝගාබාධවල අනතුර එමගින් කිසිදු ලෙසකින් අවප්‍රමාණ නොකෙරෙන බවය.
“සීනි වෙනුවට NSS ආදේශ කිරීම මගින් දිගු කාලීනව ශරීරයේ බර අඩුකර ගැනීමට කිසිදු සහයක් නොලැබේ. ඒ වෙනුවට සීනි පරිභෝජනය අඩුකර ගැනීමේ වෙනත් ආකාර සලකා බැලිය යුතුය,” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස්කෝ බ්‍රන්කා පැවසීය.
“කෘතිම සීනි ආදේශක (NSS) අත්‍යවශ්‍ය ආහාර සංඝටකයක් නොවන අතර පෝෂණ අගයක් නොමැත. මිනිසුන් තම සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ජීවිතයේ මුල් අවදියේ සිටම ආහාරයේ පැණි රස සම්පූර්ණයෙන්ම අඩු කළ යුතුය,” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
කෘතිම සීනි ආදේශක දිගු කාලීන භාවිතයෙන් Type2 දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇති විය හැකි බව පෙන්වාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එමගින් වැඩිහිටියන් අතර නිසි වයසට පෙර (premature) මරණ අවදානම වැඩි වීම වැනි වෙනත් භයානක ප්‍රතිවිපාක ද ඇති විය හැකි බවය.