– ආර් යසී
මුස්ලිම් රටවල් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් උපුටා දක්වමින් උදයන් සඟරාවේ නිල ලාංඡනය සහ පිටු සැලසුම් යොදා ගනිමින් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවතක් හුවමාරු වෙමින් පවතින බව Factseeker කළ විමසුමකදී හෙළිවිය.
සියලුම මුස්ලිම් රටවල් ත්‍රස්තවාදයට සහය දෙන බැවින් එවැනි “ඉස්ලාමීය ත්‍රස්තවාදී රටවලින්” ශ්‍රී ලංකාවට ආධාර අනවශ්‍ය බවත්, එමෙන්ම ඉස්ලාමීය ත්‍රස්තවාදය පාලනය කිරීමට සිංහල ජනතාව ප්‍රබල සහයක් දක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ යයි අදාළ පුවතේ දැක්වේ.
“මම ඉස්ලාම් ත්‍රස්තවාදය අවසන් කරමි” සහ “සියලු මුස්ලිම් රටවල් ත්‍රස්තවාදයට සහය දක්වයි” යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බව ද එහි සඳහන් වේ.
එහෙත් එය උදයන් සඟරාවේ නිල ලාංඡනය සහ පිටු සැලසුම යොදා ගනිමින් සකස් කරන ලද ව්‍යාජ පුවත්පතක් විනා උදයන් සඟරාව විසින් පළකරන ලද පුවතක් නොවන බව උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දිලිප් අමුදන් Factseeker කළ විමසීමකදී කියා සිටියේය.
මෙහිදී තම සඟරාවේ නමින් ව්‍යාජ සඟරාවක් නිර්මාණය කර පළ කර තිබෙන බව කියා සිටි දිලිප් අමුදන්, පසුගිය 2019 වසරේ ද තම පුවත්පතේ නිල කේතය භාවිත කරමින් එවක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති පළ කළ අතර, එවැනි කටයුතු තවමත් සිදුවන බවත් සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලය උදයන් පාලනාධිකාරිය අමතා ඒ පිළිබඳව විමසූ විට, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උදයන් පාලනාධිකාරිය විපක්ෂ නායක කාර්යාලයට ද දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
FactSeeker මේ පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේ, උතුරේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය පුවත්පතක් වන උදයන් පුවත්පතේ ලාංචනය සහ පිටු සැලසුම් සහිතව සමාජ මාධ්‍යවල බෙදා හැරෙන එම පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය.
විපක්ෂ නායකවරයා හෝ සමගි ජන බලවේගය එවැනි අදහස් ඔහුගේ දේශන, මැතිවරණ වේදිකාවල, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා හෝ මාධ්‍ය නිවේදන වලදී ප්‍රකාශ කර නොමැති බව ද විපක්ෂනායක කාර්යාලය පැවසීය.
ප්‍රගතිශීලී ජාතිකවාදය විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණය ලෙස සලකන අතර තමන්ට අවශ්‍ය වන්නේ සියලු දෙනා එක් කර ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමට බවත් විපක්ෂනායක කාර්යාලයේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.