ලංකාවේ පොලිස්පති පත්කරන්නේ කොහොමද?

147

කමණි හෙට්ටිආරච්චි

පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු මස 25 වන දින සිට විශ්‍රාම යාමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මීළඟ පොලිස්පතිවරයා කවුරුන් විය හැකිද යන්න අවධානයට ලක්වෙමින් පවතී.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි බොහෝ ජනමාධ්‍ය පසුගිය සතියේ වාර්තාකර තිබුණි. එම වාර්තාවල දැක්වෙන්නේ, විශේෂයෙන්ම පාලක පොදුජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරු ඔහු පත්කරන මෙන් ජනාධිපතිවරයාට බලකරන අතර, විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පළකරන බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විශේෂයෙන්ම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව, නව පොලිස්පතිවරයෙකු පත් කරනු ලබන්නේ කෙසේද? යන්න පිළිබඳව Factseeker වෙනුවෙන් අපි විමසීමක් කළෙමු.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කෙරුණු අතර 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත එය බලාත්මක වූ බව ඒ පිළිබඳව කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පෙන්වා දුන්නේය.

කතානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතීත්වය දරණ අතර අගමැති, අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයේ සමාජිකයෙකු, ජනාධිපතිවරයා‌ගේ නියෝජිතයෙකු, විපක්ෂ නායක, සුළු පක්ෂ නියෝජිතයෙකු සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයින් තිදෙනෙකු වශයෙන් දසදෙනෙකු ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඒ සඳහා සුදුසු යයි ඔහු විශ්වාස කරන පුද්ගලයෙකු ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරන අතර එම තැනැත්තා සුදුසු යයි ව්‍යවස්ථාදායක සභාව එකඟ වන්නේ නම් ඔහු (ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස්පතිවරියක පත්කොට නොමැත) සුදුසු යයි නිර්දේශ කර ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බව ද ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා සඳහන් කළේ ය.

පොලිස්පතිවරයෙකු පත් කිරීමේදී තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් Factseeker සමග අදහස් දැක්වූ නීතීඥ ජගත් ලියනආරච්චි කියා සිටියේ, පොලිස්පතිවරයා පත් කිරීමේදී ඔහු පොලිස් නිලධාරියෙකු විය යුතු බවට කිසිදු සඳහනක් නොමැති බවය.

පොලිස් නිලධාරීන් නොවන පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් ශ්‍රී ලංකාවේ පොලිස්පති ධූරයට පත් වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා පමණක් නොව, අගවිනිසුරු, නීතිපති යන ධූර සදහා පත් කිරීම්වලදී ඒ් ඒ් ක්ෂේත්‍රයේ නිපුණතත්වය සැලකිල්ලට නොගන්නා අතර විගණකාධිපති පත් කිරීමේදී පමණක් විගණකවරයෙක් විය යුතු යයි සඳහන් වන බවත් නීතිඥ ජගත් ලියනආරච්චි පැවැසීය.

ඒ් අනුව පොලිස්පතිවරයා පත් කිරීමේදී වඩා වැදගත් වන්නේ යුක්තිය, සාධාරණත්වය සහ චෝදනා නොලැබූ අයෙකු වීම බව නීතිවේදී ජගත් ලියනආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleIMF வுடனான பேச்சுவார்த்தைக்கு பிரதிநிதியை அனுப்பவில்லை – GMOA தெரிவிப்பு
Next articleஇலங்கையின் பொலிஸ் மா அதிபரை எவ்வாறு நியமிப்பது?