කොළඹ ජාතික රෝහලේ පරිගණක පද්ධතියේ මෙහෙයුම් භාරව කටයුතු කරන සමාගමට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් පරිගණක පද්ධතිය බිඳ වැටී ඇති බව වෛද්‍යවරුන් සහ රෝගීන් පවසති.
FactSeeker සමග අදහස් දැක්වූ රෝහලේ වෛද්‍යවරයෙක් කියා සිටියේ, මහ රෝහලේ තවමත් එක්ස් කිරණ පරීක්ෂණ සහ CT පරීක්ෂණ පැවැත්විය හැකි නමුත් පරිගණක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් රෝගියා සිටින වාට්ටුවේ දී එම පරීක්ෂණවල ප්‍රතිඵල නිරීක්ෂණය කළ නොහැකි බවය.
පවතින තත්වය හේතුවෙන් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම පිණිස විද්‍යාගාරයටම යාමට වෛද්‍යවරුන්ට සිදු වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ පරිගණක පද්ධතිය, යුරෝ මිලියන 40ක (රුපියල් බිලියන 8ක) වියදමින් විදේශීය සමාගමක විසින් නිර්මාණය කරන ලද්දකි. එහි නඩත්තු කටයුතු සඳහා ද වාර්ෂිකව තවත් මුදලක් වැය වේ.
ජාතික රෝහලේ තත්වය එය වුවත්, මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය බලධාරීහු මීට වසර කිහිපයකට ඉහත දී ඉතා අඩු මුදලකට ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක පද්ධතියක් හඳුන්වා දුන් අන්දම සන්ඩේ ටයිම්ස් පුවත්පත මීට ඉහතදී වාර්තාකොට තිබුණි.
පුවත්පත සමග අදහස් දක්වමින් මහරගම පිළිකා රෝහලේ සෞඛ්‍ය තොරතුරුවේදය (Health Informatics) පිළිබඳ ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර් වෛද්‍ය නිශාන් සිරිවර්ධන පවසා තිබුණේ, ශ්‍රී ලංකාව අසීරුවෙන් උපයා ගන්නා විදේශ විනිමය වැය නොකරමින් සිය රෝහලේ පරිගණක පද්ධතිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවය.
එම පද්ධතිය නිර්මාණය කොට, රෝහලේ සවිකොට මෙහෙයවනු ලබන්නේ ද ශ්‍රී ලාංකිකයින් විසිනි.
ඒ සමගම එය රට පුරාම රෝහල්වලට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක වුවද, ජාතික රෝහලේ පවතින්නේ ඊට වඩා ඉතා අධික මුදලක් විදේශීය සමාගමකට ගෙවා සකස් කළ පරිගණක පද්ධතියකි.
පිළිකා රෝහලේ හැරුණු විට මේ වනවිට එම පද්ධතිය කළුබෝවිල, රාගම සහ යාපනය ඇතුළු රෝහල් ගණනාවක ද සවිකොට තිබේ.
මහනුවර මහ රෝහලේ ද මුලින් මෙම දේශීය පද්ධතිය සවිකොට තිබුණ ද, ඉන් අනතුරුව විදේශීය පද්ධතියක් සවිකරන ලද නමුත් මේ වනවිට මුදල් හිඟය හේතුවෙන් කොළඹ මහ රෝහලේ හා සමාන අර්බුදයක් මතු වී තිබෙන බව FactSeeker වෙත අනාවරණය වේ.
FactSeeker කරන ලද විමර්ශනය ප්‍රකාර, දේශීයව නිපදවූ පරිගණක පද්ධතියක් යොදාගැනීම හේතුවෙන් මහරගම රෝහලෙන් පමණක් භාණ්ඩාගාරයට වාර්ෂිකව ඉතිරි කර දෙන මුදල රුපියල් මිලියන 60ක් පමණ වේ. එය සවිකර තිබෙන අනෙක් රෝහල්වලින් ද ඒ හා සමාන මුදලක් ඉතිරි කෙරෙන බව සැලකේ.
මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරුවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන, මෙම පද්ධතිය නිර්මාණය කිරීමට මූලික වූ වෛද්‍ය නිශාන් සිරිවර්ධන FactSeeker කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ, කොළඹ ජාතික රෝහලේ ද මෙම පද්ධතිය වන්නක් සොයා ගැනීමේ හැකියාව තිබෙන බවය.
එසේ කළහොත් දරුණු ආර්ථික අර්බුදයක් අවස්තාවක රටේ ආර්ථිකයට ද සහනයක් අත්වන අතර, රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වීමේ අවදානම ද පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ශ්‍රීධරන් ඇමතූ අවස්ථාවේ ඔවුන් තිදෙනාම විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරුවේදය පිළිබඳ අධ්යක්ෂ වෛද්‍ය පාලිත කරුණාපෙනුම ඇමතූ අවස්ථාවේ ඔහු රිය පදවමින් සිටින බව සඳහන් කළ අතර, ඉන්පසුව යළිත් ඇමතූ විට වෛද්‍යවරයා දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.