ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවට ගියාද?

572

පසුගිය ජුලි මාසයේ ජනතා උද්ඝෝෂණ හමුවේ පදවියෙන් ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දෙසැම්බර් 26 වෙනි දින සිය පවුලේ සාමාජිකයින් ද සමග ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණ.

ඇතැම් වාර්තාවල දැක්වුණේ, ගෝඨාභය රාජපක්ෂ මුලින්ම ඩුබායි බලා ගොස් ඉන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය බලා යාමට නියමිතව තිබුණ බවය.

කෙසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපදය මීට ඉහතදී හිටපු ජනාධිපතිවරයාට වීසා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණ බැවින්, මේ වතාවේ ඔහු වීසා ලබාගත්තේ කෙසේ දැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ඇමෙරිකානු පුරවැසියෙකි.

2019 නොවැම්බරයේ ඔහු ජනපති පදවියට තරග කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පැවති නීතිය ප්‍රකාර ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට තේරී පත්විය නොහැකිය. කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තේ කෙදිනකද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර වාර්තා පලවිය.

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයෙකුට යළිත් සාමාන්‍ය ඇමෙරිකානු සංචාරයක් සඳහා වුව වීසා බලපත්‍රයක් ලබාගැනීම ඉතා දුෂ්කර බව වාර්තාවල දැක්වේ.

මේ තත්වය යටතේ එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා අවසර ලැබෙන Green Card (ග්‍රීන් කාඩ්) බලපත්‍රයක් ලබාගැනීම පිණිස ඔහු පසුගිය අගෝස්තු මාසයේ අයදුම් කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.

සාමාන්‍යයෙන් ග්‍රීන් කාඩ් බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස මාස ගණනක් හෝ ඇතැම්විට වසර ගණනක් ද ගතවිය හැකිය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන Asian Tribune පුවත්පතේ කර්තෘ කේ ටී රාජසිංහම් පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ඩුබායි හි දින කිහිපයක් ගතකොට ඉන් අනතුරුව තවත් යුරෝපා රටක සංචාරය කිරීමට නියමිත බවය. හිටපු ජනපතිවරයා ඩුබායි හි සාප්පු සවාරියේ යෙදී සිටින බව පැවසෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණ.

යුරෝපා රටක සිට ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය ගැන ට්විටර් ඔස්සේ අදහස් දක්වන සංජී (Sanjee) මේ අතර ගෝඨාභය රාජපක්ෂට වීසා දීම ප්‍රතික්ෂේප කිරීම ගැන එක්සත් ජනපදයට ප්‍රශංසා කර තිබිණ.

නිගමනය

කටුනායක ගුවන් තොටුපොලේ සිට වාර්තාකරුවෙකු එවූ වාර්තාවක් පදනම් කරගනිමින්, ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බවට පසුගිය 26 දින බොහෝ මාධ්‍ය පළකොට තිබුණ වාර්තාව සත්‍යයෙන් තොරය.

ඔහු යුරෝපා රටක සංචාරය කිරීමට සැලසුම් කරන බවට ඇතැම් වාර්තාවල දැක්වෙන නමුත් මේ වනවිටත් ඔහු ඩුබායි හි වාසය කරන අතර, හිටපු ජනාධිපතිවරයා නුදුරු දිනයක යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ගයක් FactSeeker සමග පැවසීය.

Previous articleපොලිස්පතිට පොලිස් ස්ථානාධිපතිවරු මාරු කරන්න පුලුවන්ද?
Next articleகோட்டாபய ராஜபக்‌ஷ அமெரிக்கா சென்றாரா?