පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 260 දෙනෙකුට මීට දින කිහිපයකට ඉහත දී ස්ථාන මාරුවීම් ලබා දෙනු ලැබ තිබිණ.
පොලිස්පතිවරයා වෙනුවට ඔවුන්ට මාරුවීම් ලබාදීමේ ලිපියට අත්සන් තබා තිබුණේ මානව සම්පත් කළමණාකරණය භාර නියෝජ්‍ය පොලිස්පති එම් එන් සිසිර කුමාර විසිනි.
ඒ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු ගැන නිරන්තර විමසිල්ලෙන් සිටින “අපේ ගමේ පොලිසිය”ෆේස්බුක් ජාලය, පොලිස්පතිවරයාගේ අත්සන වෙනුවට නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාරගේ අත්සනින් යුතුව අදාළ ලිපිය යොමුකිරීම හේතුවෙන් එම ස්ථාන මාරු වීම් නීති විරෝධී යයි පොලිස් නිලධාරීන් පවසන බව කියමින් පෝස්ටුවක් පළකොට තිබිණ.
පොලිස් නිලධාරීන් මතුකරන මේ කරුණ පිළිබඳව Factseeker.lk කළ ගවේෂණයක සටහනයි, මේ.
පොලිසියේ සියලුම ඉහළ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත පිටපත් සහිතව පොලිස්පතිවරයා විසින් යොමුකරන ලද ඉහත කී ලිපියේ දැක්වෙන පරිදි, පොලිස්පතිවරයා එම ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කරන ලද නියෝගයකට අනුකූලවය.
අමාත්‍යාංශ ලේකම්වරයා එම නියෝගය දී තිබෙන්නේ 2020.11.20 දිනැති අංක 2202/04 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරන ලද බලතල පැවරීම ප්‍රකාරවය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2020 නොවැම්බර් මාසයේ එම බලතල පැවරීම කරනු ලැබ තිබෙන්නේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවරුණු බලතල ප්‍රකාරවය.
කෙසේ වුවද, මේ වසරේ ඔක්තෝබර් 21 වෙනි දින විසිඑක්වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව (ඉන් දින කිහිපයකට පසුව කතානායකවරයා එයට අත්සන් තැබීය), විසිවෙනි සංශෝධනය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී තිබුණු පොලිස් සේවයේ පරිපාලනය සම්බන්ධ සියලු බලතල පොලිස් කොමිෂන් සභාවට පැවරිණ.
විසිඑක්වෙනි සංශෝධනයට අනුව “පොලිස්පතිවරයා හැර, පොලිස් නිලධරයන් පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීමේ සහ සේවයෙන් පහ කිරීමේ බලය (පොලිස්) කොමිෂන් සභාව වෙත පැවරිය යුත්තේය.”
ඒ අනුව, විසිඑක්වෙනි සංශෝධනය නීතිගත වූ මොහොතේ සිට පොලිස්පතිවරයා හැර අනෙක් සියලුම පොලිස් නිලධාරීන් සම්බන්ධ විනය කටයුතුවල වගකීම පැවරෙන්නේ පොලිස් කොමිසම වෙතය. ව්‍යවස්ථා සභාව පිහිටුවා නව කොමිෂන් සභාවක් පත්කරන තුරු ඒ බලතල වත්මන් පොලිස් කොමිසම වෙත පැවරේ.
කෙසේ වුවත් අවශ්‍ය නම් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධ තමන් සතු ඇතැම් බලතල විශේෂ කමිටුවක්, පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයා විසින් නම්කරනු ලබන පොලිස් නිලධාරියෙකු වෙත පැවරීමට කොමිෂන් සභාවට බලය තිබේ.
පොලිස්පතිවරයා වෙත හෝ කමිටුවකට එවැනි බලයක් පවරනු ලබන්නේ නම්, කොමිෂන් සභාව විසින් ඒ බව ගැසට් පත්‍රයේ පළ කොට ප්‍රකාශයට පත්කළ යුතුය.
පොලිස් කොමිසමේ ප්‍රතිචාරය
කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත හෝ විශේෂ කමිටුවක් වෙත ඒ ආකාරයට කිසියම් බලතල පවරා දී තිබෙන්නේ දැයි Factseeker කළ විමසුමකට පිළිතුරු දෙමින් කොමිෂන් සභාවේ ලේකම් තරංගා ඩී පෙරේරා කියා සිටියේ, ඇතැම් බලතල එසේ පවරාදීම පිළිබඳව පසුගිය සතියේ පැවති කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කළ බවය.
ඉන් අනතුරුව නීතිපතිවරයාගේ ද අදහස් විමසා මේ වනවිට ඒ සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස්වෙමින් පවතින බව සඳහන් කළ ලේකම්වරිය, ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කොට අදාළ ගැසට් නිවේදනය මේ සතිය ඇතුළත ප්‍රකාශයට පත්කිරීමට හැකිවෙනු ඇතැයි විශ්වාසය පළ කළාය.
එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙන තුරු පොලිස් කොමිෂන් සභාවේ කිසිදු බලතලයක් පොලිස්පතිවරයා වෙත පවරා දී නොමැති බව ලේකම්වරිය සනාථ කළාය.
නිගමනය
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම ඇතුළු විනය කටයුතු සම්බන්ධ සියලු බලතල පවතින්නේ පොලිස් කොමිෂන් සභාව වෙතය.
2020 නොවැම්බරයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය විසිඑක්වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව තවදුරටත් බලාත්මක නොවන අතර, පොලිස් නිලධාරීන් මාරු කිරීම ඇතුළු විනය පියවර සම්බන්ධ කිසිදු බලයක් ව්‍යවස්ථාව මගින් පොලිස්පතිවරයා වෙත පවරා දී නැත.
පොලිස් නිලධාරීන් මාරු කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාට ද ව්‍යවස්ථානුකූල බලයක් නැත.
තමන් සතු ඇතැම් බලතල පොලිස්පතිවරයා වෙත පවරා දීමට පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් තිබෙන නමුත් කොමිෂන් සභාව ද මෙතෙක් පොලිස්පතිවරයා වෙත එවැනි බලයක් පවරා දී නොමැත.
එබැවින් පොලිස් නිලධාරීන් 260 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න ගත් පියවර ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් නොවේ.