කිරි පිටි කියන්නේ පිළිකා කාරකයක්ද?

485

කිරි පිටි සහ කිරි ආහාර කියන්නේ පිළිකා කාරකයක් නිසා කිරි පිටි බීමෙන් වැලකී සිටිය යුතු බවට වරින්වර සංවාදයක් මතුවෙනවා.

ඉතා මෑතදී මේ මතය ප්‍රබලව මතු කළේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එවකට එහි ප්‍රධානියාව සිටි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක්; විශේෂඥ මත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන විශේෂඥ මණ්ඩලයක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පසුගිය සමයේ දිගින් දිගටම ඉදිරිපත් කළ, විද්‍යාත්මක පදනමක් නැති, මතභේදයට තුඩු දෙන ප්‍රකාශ එක්ක බැලුවම ඔහුගේ ප්‍රකාශ ගැන සාධාරණ සැකයක් මතුවීමත් වැළැක්විය නොහැකියි.

මේ අතරේ පසුගියදා “ජය TV” යූටියුබ් නාලිකාව එක්ක සංවාදයකට එක්වෙමින් “සමහිත Nature Foundation” සභාපති ආනන්ද මහින්කන්දත් කිරි පිටි පානය නිසා පිළිකා රෝග වැළදීමේ අවදානම ගැන අනතුරු අඟවල තිබුන.

Factseeker අපේ අවධානය යොමුවෙන්නේ මේ කිරි පිටි බීම සහ පිළිකා රෝගය අතර සහසම්බන්ධයක් තිබිය හැකිද කියන කරුණ ගැන.

පක්ෂව:

මේ වසරේ (2022) මැයි මාසයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත්කළ පර්යේෂණ වාර්තාවකට අනුව, කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම සහ කාන්තා පියයුරු පිළිකාව සහ අක්මා පිළිකා අතර ප්‍රබල සම්බන්ධයක් තියෙනව. (https://www.ox.ac.uk/news/2022-05-06-dairy-products-linked-increased-risk-cancer)

චීන වැඩිහිටියන් ලක්ෂ පහකට වැඩි පිරිසක් යොදාගෙන පවත්වපු මේ දැවැන්ත පර්යේෂණයට අනුව කිරි ආහාර සහ අනෙක් පිළිකා ප්‍රභේද අතර සෘජු සම්බන්ධයක් හමුවෙලා නැහැ. ඒ වගේම මේ ප්‍රතිඵලය ගැන තවත් පර්යේෂණ පැවැත්විය යුතු බවත්, මේ පර්යේෂණය නිසා කිරි බීම හෝ කිරි ආහාර ගැනීම වහාම නැවැත්විය යුතු නැති බවත් පර්යේෂකයින්ම කියනවා.

මේ අතරේ ආනන්ද මහින්කන්ද සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මතු කළ අනතුරු ඇඟවීම්වලට පදනම් වෙලා තිබුණේ මිට දශක ගණනාවකට ඉහතදී, පෝෂණවේදය පිළිබඳ ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයෙක් වන කොලින් කැම්බල් කළ පර්යේෂණයක්. (https://www.discovermagazine.com/health/worrying-about-milk)

චීනයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සිදු කෙරුණ ඒ පර්යේෂණය හැඳින්වුණේ China-Oxford-Cornell project කියල.

මවු කිරි වෙනුවට එළ කිරි පානය කිරීම මගින් ශරීරය තුළ අසාමාන්‍ය ආකාරයෙන් එන්සයිම සහ හෝමෝන උත්තේජනය කරන බවට විද්‍යාඥ කොලින් කැම්බල් තමන්ගේ පර්යේෂණය පදනම් කරගෙන තර්ක කරනවා. එමගින් පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ වැළඳීමේ අවදානම ඉහළ යන බව තමයි ඔහුගේ තර්කය වෙලා තියෙන්නේ.

මෙතෙන්දි විද්‍යාඥ කොලින් කැම්බල් වගේම ආනන්ද මහින්කන්දත් මේ තර්කය මතුකරන්නේ නිර්මාංශ භක්ෂකයින් ලෙසින් කියන එකත් අවධානයට ගැනීම වැදගත්.

ඒ වගේම විද්‍යාත්මක සාධකවලට අමතරව ඔවුන් දෙදෙනාම තවත් ඉතාමත්ම වැදගත්, අනුවේදනීය කරුණකුත් මතුකරනවා. ඒ තමයි, මහා පරිමාණ වශයෙන් එළ කිරි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාදාමයේදී ගවයින් අතිශය දරුණු අන්දමින් පීඩාවට සහ වද වේදනාවලට ලක්වීම; අනෙක උපත ලැබූ ගමන් වසු පැටවා මව ගෙන් ඈත්කිරීම නිසා පැටවා සහ මව විඳින වේදනාව.

කොහොමවුණත් පිටි කිරි හෝ එළ කිරි බීම මගින් පිළිකාව හටගන්න පුළුවන් කියන තර්කයට ඉහත කී කරුණ අදාළ නැහැ.

විරුද්ධව:

Cancer Research UK කියන්නේ, දශක ගණනාවක් මුළුල්ලේ පිළිකා රෝගය ගැන පර්යේෂණ පවත්වන, ලෝකයේ විශාලතම පිළිකා රෝග පර්යේෂණ ආයතනය. 2002 දී බ්‍රිතාන්‍යයේ ආරම්භ කළ එය, ලෝකයේම පිළිගැනීමට ලක් වුණ පර්යේෂණ ආයතනයක්.

ඒ ආයතනය මේ ගැන ඉතා පැහැදිලිව කරුණු දක්වල තියෙනව.

“කිරි සහ කිරි නිෂ්පාදන මගින් පිළිකාව හටගත හැකි බවට ප්‍රමාණවත්, පැහැදිලි සාක්ෂි නැත,” කියල 2011 අග භාගයේදී මේ ගැන වාර්තාවක් පළකරමින් Cancer Research UK ආයතනය කියනවා. (https://www.cancerresearchuk.org/about-cancer/causes-of-cancer/cancer-myths/can-milk-and-dairy-products-cause-cancer)

එහෙම සහ සම්බන්ධයක් නැතිවා විතරක් නෙවෙයි, ඇත්තටම ඒ පර්යේෂණ ආයතනය කියන විදියට කිරි බීම සහ කිරි නිෂ්පාදන අනුභව කිරීම නිසා ඇත්තටම බඩවැල් පිළිකාව හටගැනීමේ අවදානම අඩුවෙන්නත් පුළුවන්.

විශේෂයෙන්ම දිනපතා ආහාරයේ කොටසක් වශයෙන් කිසියම්ම හෝ කිරි නිෂ්පාදනයක් අනුභව කිරීම NHS බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරන බවත් බ්‍රිතාන්‍ය පිළිකා රෝග පර්යේෂණ ආයතනය සිහිපත් කරනවා.

එහෙම ආහාරයට ගැනීමේදී, අඩු මේදය (1% පමණ ප්‍රතිශතයක්), අඩු ලුණු සහ අඩු සීනි සහිත කිරි ආහාර අනුභව කරන්න කියලත් Cancer Research UK ආයතනය නිර්දේශ කරනවා.

නිගමනය:

කිරි බීම හෝ කිරි ආහාර අනුභව කිරීම මගින් පිළිකා රෝග හටගන්නා බවට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඒ නිසා වහාම කිරි බීම හෝ කිරි ආහාර ගැනීම නැවැත්විය යුතුයි කියල විද්‍යාඥයින් උපදෙස් දෙන්නේ නැහැ.

කොහොමවුණත් මේ ගැන තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන නිසා අනාගතයේදී ඒ උපදෙස් වෙනස්වෙන්නත් පුළුවන්.

ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Cancer Research UK හෝ ජාතික සෞඛ්‍ය සේවා වැනි පිළිගත් ආයතනවල වෙබ් අඩවි පරිශීලනය කරන්න.

 

 

Previous articleගායන ශිල්පි ගාමිණී සුසිරිවර්ධන මියගියේ කවදාද?
Next articleWhat is Zoophilia and Bestiality?