අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත් වන බවට Whatsapp ඔස්සේ සංසරණය වන නොමඟයවනසුලු පුවතක් ?

110

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වන පණිවිඩයක් Whatsapp හරහා සංසරණය වෙමින් පවතී.

Youtube වීඩියෝවක සබැඳියක් ලෙස මෙම පුවත සංසරණය වන අතර සබැඳිය සමඟ ඉදිරිපත් කර ඇති සිරස්තලය වන්නේ “මහින්ද හෙට අගමැති ධූරය හැර යයි” යන්නයි.

කරුණු ගවේෂණය

“මහින්ද හෙට අගමැති ධූරය හැර යයි.” යන පුවත මීට වසර තුනකට පෙර පළ වූ වීඩියෝවක් සහිත පුවතකි. සංසරණය වන පුවත සමඟ ඇති සබැඳිය හරහා පිවිසීමෙන් එහි ඇති සවිස්තරාත්මක පුවත නැරඹිය හැකි අතර එහිදී කියවෙන්නේ රටේ ස්ථාවරත්වය රැකගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර ඇති බවයි. මෙම පුවත 2018 දෙසැම්බර් මස 14 වන දින සිරස නාලිකාවේ යූටියුබ් චැනලයේ විකාශය කර තිබිණි.

මෙම පුවතට පදනම් වූයේ 2018 ඔක්තෝබර් මස 26 වන දා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවා නව රජයක් පිහිටුවීමේ සිද්ධියයි. පාර්ලිමේන්තුවේ බහුතරය බලය පිළිබඳ නැවත ඡන්ද වීමසීමක්ද මෙහිදී සිදු කෙරිණි. දේශපාලන ඉතිහාසයේ දින පනහේ ආණ්ඩුව ලෙස මෙම සිද්ධිය කතාබහට ලක්විය.

පසුව 2018 දෙසැම්බර් 15 දින මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. නැවතත් Whatsapp ඔස්සේ සංසරණය වෙමින් තිබෙන්නේ එම ඉල්ලා අස්වීම පිළිබඳ පුවතයි.

Whatsapp ඔස්සේ නැවත සංසරණය වන මෙම පුවත පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන පුවත් අසත්‍ය බවයි.

නිගමනය

“මහින්ද හෙට අගමැති ධූරය හැර යයි.” යන පුවත මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබර් 26 දින සිදු වූ ආණ්ඩු ⁣පෙරළියෙන් පසු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව සඳහන් වීඩියෝවකි. මෙය නොමඟයවනසුලු ආකාරයෙන් නැවතත් Whatsapp හරහා සංසරණය වේ.

 


Previous articleතිස්ස කුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා රජය විසින් නවීන ප්‍රාඩෝ මෝටර් රථයක් ලබා දී තිබේ ද?
Next articleA news regarding Prime Minister Mahinda Rajapaksa’s resignation is being circulated on WhatsApp. Is this misleading the public?