ඔමික්‍රෝන් නව ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇති බව හැඟවෙන නොමඟයවනසුලු වීඩියෝවක්

88

 

මාරාන්තික ප්‍රභේදය රටට ඇතුළු වෙයි යන ශීර්ෂය සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. මෙම වීඩියෝවේ සිරස්තලය සහ අන්තර්ගතයේ මුල් කොටස මඟින් මෙරටදී ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවී ඇති බවක් හැඟවෙන පරිදි ඉදිරිපත් කර ඇත.

එකී වීඩියෝවේ අන්තර්ගතය , “ඔමික්‍රෝන් ⁣ප්‍රභේදය සහිත පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ. 30 හැවිරිදි ඔහු නැමීබියාවේ සිට පැමිණි විදේශිකයෙකු බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ප්‍රතිකාර සඳහා ඔහු යොමු කර ඇති අතර ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මෙම කොරෝනා ප්‍රභේදය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා විදේශිකයන්ට පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවන බවයි. මෙසේ වාර්තා වී ඇත්තේ ජපානයේ හනේඩා ගුවන්තොටුපළේදී ය.

වීඩියෝවේ සිරස්තලය සහ මුල්භාගය තුළ මෙම පුවත ශ්‍රී ලංකාවට අදාළ පුවතක් ලෙස හඟවා ඇති නමුදු වීඩියෝවේ අවසානයේදී පමණක් මෙය ජපානයේ සිදුවීමක් ⁣බවට ප්‍රකාශ කර ඇත.

රටවල් හයකට සීමා

නොවැම්බර් 28 මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව , බොට්ස්වානා , ලෙසතෝ , නැමීබියා , සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මඟීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කර ඇත.

තවද, අදාල රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මඟීන්ටද මෙරටට ඇතුළුවීම තහනම් කර ඇත.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ වර්තමාන තත්වය

නොවැම්බර් මස 24 දා දින සිට නොවැම්බර් මස 30 වනදා දක්වා රටවල් 19ක ඔමික්‍රොන් නව ප්‍රභේදය පැතිරී ඇති අතර එකී රටවල් මෙසේය.

ඔස්ට්‍රේලියාව , ඔස්ට්‍රියාව , බෙල්ජියම , බොට්ස්වානා , කැනඩාව , චෙක් ජනරජය , ඩෙන්මාර්කය , ජර්මනිය , හොංකොං , ඊශ්‍රයලය , ඉතාලිය , ජපානය , නෙදර්ලන්තය , පෘතුගාල ,
රීයූනියන් , දකුණු අප්‍රිකාව , ස්පාඤ්ඤය , ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය.

වැඩිදුර කියවීම සඳහා : WHO Australian Government 

නිගමනය

යූටිබ් නාලිකාවකින් මුදා හරින ලද මෙම වීඩියෝ පටය නොමඟයවනසුලු ශීර්ෂයක් සහිතව උඩුගත කර ඇති අතර එහි අන්තර්ගත පුවත වන්නේ ජපානයේ හොනෙඩා ගුවන්තොටුපළේදී හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයෙක් පිළිබඳවයි.

ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් ආසාදිතයන් හමු වී ඇති බවට කිසිඳු පුවතක් වාර්තා වී නොමැති අතර එකී වීඩියෝව සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමඟයවනසුලු ආකාරයට මෙම යූටියුබ් නාලිකාව විසින් පළ කර ඇත.

 


Previous articleசிரேஷ்ட நடிகை ஐரங்கனி சேரசிங்க காலமானதாக பரவும் செய்தி போலியானது!
Next articleA misleading video suggesting that the new Omicron variant has entered the country