කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් රෝහලේ කොරිඩෝවේ පත්තර කොළ මත නිදා සිටින ආකාරය බව විස්තර කරමින් පටිගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
උක්ත වීඩියෝවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්. පී. ඒ. එල්. රණවීර මහතාගෙන් විමසීමේදී එතුමන් පවසා සිටියේ සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 80 – 100 අතර ප්‍රමාණයක් රාගම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අතර එම රෝගීන් පැයක් වැනි ඉතා කෙටි කාලෙකින් එම ස්ථානයෙන් ඉවත් වන බවයි. එමෙන්ම රෝහලට එදිනෙදා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තෙක් සාමාන්‍ය වාට්ටු වන වාට්ටු අංක – 30 (කාන්තා රෝගීන්) සහ වාට්ටු අංක – 26 (පිරිමි රෝගීන්) රැඳී සිටින ආකාරය උක්ත වීඩියෝ මගින් නිරූපණය වන බවත් එතුමා සඳහන් කරයි.
පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වීම සඳහා පැය 06 ක පමණ කාලයක් ගතවන අතර ප්‍රතිපල ලැබීමෙන් පසු කෝවිඩ් යැයි තහවුරු වන රෝගීන් කොටස් දෙකකට බෙදා, රෝග ලක්ෂණ සහිත රෝගීන් (හුස්ම ගැනීමේ අපහසු, ඇඟපත අමාරු හෝ උණ) සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටු 15 සහ 16 වෙත යොමු කරන බවත් (එක් වාට්ටුවක ඇඳන් 40 බැගින් ඇත), කිසිඳු අපහසුතාවයක් නොමැති කෝවිඩ් රෝගීන් (කෝවිඩ්-19 වැළදී ඇති බව තහවුරු වීම නිසා නිවසට යැවිය නොහැකි රෝගීන්) කඳාන දිසා රෝහලේ වෙන්කර ඇති වාට්ටු 02 (කාන්තා – ඇඳන් 40 සහ පිරිමි – ඇඳන් 40) සඳහා යොමු කරන බවත් එසේත් නොමැති නම් රෝහලේ ගිලන් රථවලින් රජයේ නිරෝධානය මධ්‍යස්ථාන සඳහා යොමු කරන බවත් වෛද්‍යතුමන් පවසයි.
පවතින තත්ත්වය යටතේ කොවිඩ් රෝගීන් කළමණාකරණය කිරීම සඳහා රාගම රෝහලේ ඒකක 8ක් වෙන්කර ඇත.
•වාට්ටු අංක 26 සහ 30 (PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් රඳවා තැබීමට),
•වාට්ටු අංක11,15,16 සහ අයි.සී.යූ. ඇඳන් 04 (කෝවිඩ් රෝගීන් සඳහා පමණක් වෙන් කර ඇත),
•එච්.ඩී.යූ. (විශේෂ ඒකකය) ඇඳන් 06,
•ගර්බනී කාන්තාවන් සඳහා වාට්ටු අංක 17 ඇඳන් 22 ක් සහ ඊට අනුබද්ධ ලේබර් රූම් ඇඳන් 06 ක්, මේ සඳහා සූදානම් කර ඇති බව ඒම මහතා විස්තර කරයි.
සමස්ථයක් ලෙස අයි.සී.යූ., එච්.ඩී.යූ. සහ ගර්භනී කාන්තාවන්ට වෙන් කර ඇති ඇඳන්වලට අමතරව, කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහල තුළ සාමාන්‍ය ඇඳන් 180 වෙන්කර ඇති බවත් 2021.05.14 වන දින වන තෙක් සටහන්ව ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන විට රෝගීන් 195 සිටින බවත් ඉන් 171 කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගත් රෝගීන් බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
ඒ අනුව රාගම ශික්ෂණ රෝහලේ වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ පෙන්වන්නේ කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් නොවන බවත්, රෝහලේ සාමාන්‍ය රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තෙක් රැඳී සිටින ආකාරය බවත්, රෝහලේ අධ්යක්ෂ වෛද්‍යවරායා කරුණු පැහැදිලි කරමින් අනාවරණය කළේය.