ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබදව ප්රඥප්තිය අනුව වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයෙකුම ළමයෙකි. ඔවුන් බහුතරය දෙමාපියන්ගේ ආදරය සහ ආරක්ෂාව යටතේ ජීවත් වන්නේ ය. වර්තමානයේ ජීවත් වන ළමයාට තමන්ගේ ළමා කාලය නිසි ලෙස ගත කිරීමට අවශ්‍ය පහසුකම් ලැබී නැත යන්න සමාජීය වශයෙන් ගොඩනැගී එන මතයකි.එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වත්මන් කාලසීමාවේ ළමා අපයෝජන අනෙකුත් කාලසීමා වලට සාපේක්ෂව සන්සන්දනාත්මක වශයෙන් ඉහළ යෑමක් පෙනෙන්නට තිබෙන බව සමාජීයව ගොඩනගන්නා වූ තර්කයකි.
ළමා අපයෝජනයක් යනු….
ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය හැක. නූතන විෂය ක්ෂේත්‍ර ගණනාවක් තුළ ළමුන්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත. Oxford ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය (Child Abuse) යනු “ළමුන් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ කි‍්‍රයා කිරීම” යන්න ය. මෙහිදී ශාරීරික වශයෙන් ළමුන්ට සිදු කරනු ලබන ප්රචණ්ඩ ක්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන කටයුතු කරන අතර ළමුන්ට සිදුවන අපයෝජන වර්ග මෙසේය;
- කායික අපයෝජන
- චිත්තවේගී අපයෝජන
- ළමා මෙහෙකරුවන් ලෙස යෙදවීම
- ලිංගික අපයෝජන
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2020 වර්ෂයේදී ලිංගික අපයෝජන සහ වෙනත් අපයෝජන දත්ත සන්සන්දනයේදී ළමා ලිංගික අපයෝජන වාර්තාවීම් වලට සාපේක්ෂව ළමා අපයෝජන වාර්තා වීම ඉහළ ගොස් ඇත. පහත නිරෑපනය මඟින් මෙම අපයෝජන දෙවර්ගයෙහි වෙනස හඳුනාගත හැකිය. මෙහිදී ළමා අපයෝජන යනු ලිංගික අපයෝජන පමණක් නොවන බවද විශේෂයෙන්ම සැලකිය යුතු තත්ත්වයකි.
තවද එම වර්ෂය තුළ අපයෝජන පැමිණිලි 8165 වාර්තා වී ඇති අතර ළමුන්ට සිදුවන අපයෝජන වයස අනුව ඛාණ්ඩ කිහිපයකට බෙදා දැක්වේ. ඉන් 2020 වර්ෂයේ, අනෙකුත් වයස් ඛාණ්ඩ වලට සාපේක්ෂව වයස “11-15” අතර ළමුන්ට සිදුව ඇති අපයෝජන සංඛාත ඉහළ අගයක පවතී. උක්ත දත්ත 1.2 රූප සටහනේ දක්වා ඇත. මෙම වයසේදී ළමයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව මෙමඟින් පෙනී යයි.
වයස | සංඛාතය | ප්‍රතිශතය |
0-05 | 1503 | 18% |
6-10 | 2506 | 31% |
11-15 | 4095 | 50% |
16-18 | 1486 | 18% |
(මූලාශ්‍ර – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය) (1.2 රූප සටහන )
ළමුන් අනාරක්ෂිත ඇයි ?
යම් ළමයෙකු අපයෝජනයට ලක්වන්නේ බොහෝ විට ළමයාගේ නොදැනුවත්භාවය නිසාය; එසේත් නැතිනම් දෙමාපියන්ගේ නොසැළකිලිමත්භාවය නිසාය. ඊට නිදසුනක් ලෙස ඉහත දක්වා ඇති අපයෝජන වීමේ දත්ත වාර්තාවීම් වලදී, ළමයාගේ භාරකරුවන් බොහෝ විට මවගේ හෝ පියාගේ මව ය. 2020 වර්ෂයේදී එසේ තම මහළු මිත්තනිය සමග ජීවත් වූ ළමුන් අපයෝජනයට ලක්වීමේ ප්‍රතිශතය 60% කි. එම දත්ත 1.3 රූප සටහනේ දැක්වේ.
භාරකාරයා | සංඛ්‍යාත | ප්‍රතිශතය |
මහළු මිත්තණිය | 18 | 60% |
මහළු දෙමාපියො | 03 | 10% |
මහළු පියා | 01 | 3% |
මාමා | 02 | 7% |
නැන්දා | 04 | 13% |
කුඩම්මා | 02 | 7% |
(මූලාශ්‍ර – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය) (1.3 රූප සටහන)
ළමයෙකු අපයෝජනය වීමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා සේම, ළමයාට ඉන් මිදීම උදෙසා සාර්ථක වැඩපිළිවෙලක් සැකසී නොතිබීම කනගාටුදායක ය. කෙසේවෙතත්, ළමයෙකුගේ අධ්‍යාපනයෙන් හෝ තමන්ව අපයෝජනයට ලක්වීමට ඇති ඉඩ ඉතා ඉහළ බව උගන්වන්නේ නම් ළමා අපයෝජන වාර්තා වීම පහළ මට්ටමක රැඳෙනු ඇතැයි අප සිතන්නෙමු.
2020 වර්ෂයේ අපයෝජන වාර්තා වීමේ දත්ත අනුව තම පියාගෙන් අපයෝජනයට ලක් වූ ළමුන්ගේ ප්‍රතිශතය 14% කි. තම මවගෙන් අපයෝජනයට ලක්වීමේ ප්‍රතිශතය 9% ක් වේ. ඊට අමතරව නොයෙකුත් පුද්ගලයන්ගෙන් ළමුන් අපයෝජනයට ලක්වන අතර එම දත්ත පහත 1.4 රූප සටහනේ දක්වා ඇත.
(මූලාශ්‍ර – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය) (1.4 රූප සටහන)
ළමා අපයෝජනය සහ ලෝක තත්වය
ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය අනාදිමත් කාලයක සිට විවිධ ස්වරූපයන්ගෙන් සමාජය තුළ පැවති බව බොහෝ මූලාශ්‍ර මගින් සනාථ වී ඇත. රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පත ළමුන් යන්න කාගේත් විශ්වාසයයි. “සරළව ළමුන් යනු නිදහස් මනුෂ්‍ය කොටසකි.” ඔවුන්ව අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප්‍රවණතාව අද ලෝකය පුරාම වැඩි වී ඇත. වත්මන් ළමා පැවැත්මට යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී. ආසාදනය, මන්දපෝෂණය, කුරිරු ලෙස ශ්‍රමය සූරාකෑම, මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය සහ රැකවරණය නොමැති වීම යනාදිය ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් යන්න හඳුනාගත හැක. තවද ලොව පුරා ළමුන් මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක, මුලික අධ්‍යාපනයත් ඔවුන්ට අහිමි කරන ලිංගික ක්‍රියාවලට එක් කරගනු ලැබීමට ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට තැත්කිරීමේ තර්ජනයට මුහුණපා ඇති බවය. එහිදී “1999 වර්ෂය තුළදී පර්යේෂණයක් අනුව ඇමරිකාවේ සෑම තප්පර 6 කට වරක්ම එක් ස්ත්‍රී දුෂණයක් බැගින් සිදුවන බව” ද පෙන්වා දී ඇත. තවද “ශ්‍රී ලංකාවේ ළමා අපයෝජනය හා ස්ත්‍රී දුෂණය සෑම දින 6කට වරක් සිදුවන බව පැවසේ.”
ළමා අයිතීන්
යටත් විජිත සමයේ සිටම ළමා අයිතිවාසිකම් පිළිබඳව අණ පනත් පැනවීම දක්නට ලැබුණු අතර “වර්ෂ 1883 දී මුල්වරට සංග්‍රහ කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දක්වා ඇත.” දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවුරුදු 8 ට අඩු ළමයෙකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සහ වයස අවුරුදු 12 ට අඩු ළමයෙකු විසින් කරනු ලබන කිසිඳු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස සළකන්නේ නැත. එමෙන්ම වයස අවුරුදු 12 ට අඩු ළමයෙකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් ය. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් අතර “1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනත ද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැළැක්වීම සදහා වන පනත ද ඉතා වැදගත් පනත් වේ.” මේ පනතට අනුව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14 ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි. නමුත් එසේ වුවද වර්තමාන සමාජයේ බරපතල සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැළැක්වීම සඳහා පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පනත් 05 ක් දැක්විය හැක;
1. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
2. 1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත
3. 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
4. අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
5. 2005 අංක 34 දරණ ගෘහස්ත ප්රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත
ඉහත කරුණු සියල්ල අවසානයේ ළමයෙකු අපයෝජනයට ලක්වන බව දැනගත් වහාම පොළිස් ළමා හා කාන්තා කාර්යංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හෝ පරිවාස කොමසාරිස් වෙත පැමිණිලි කළ යුතුය. එසේ පැමිණිලි නොකිරීමෙන් ළමුන් වටපිටාවේ සිටින වැඩිහිටියන් වැරදිකරුවන් ආරක්ෂා කරන්නන් වනු ඇත.
- දිනේෂිකා ජයසේකර